වීඩියො දර්ශණ

එලවළු - පළතුරු - ජලය – ව්‍යායාම
මලබද්ධය මඟහරවන මඟක්


මලබද්ධය යනු කුමක්ද?
බොහෝ දෙනෙක් තමන්ට දින 2ක් හෝ 3ක් වැසිකිළි යාමට අවශ්‍ය නොවූ විට එය මලබද්ධය ලෙස හඳුන්වනු ලබනවා. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙක් සතියකට අවම වශයෙන් තුන්වරක් වත් වැසිකිළියට යනවා.

එසේ වුවත් බොහෝදෙනෙක් දිනකට වරක් හෝ දෙවරක් වැසිකිළි යනවා. ඒ තමයි සාමාන්‍ය තත්ත්වය. සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ අවස්ථා කීපයක්ම මලබද්ධය ලෙස හඳුනාගැනෙනවා. ඇතැමුන් දිනපතාම වැසිකිළියට ගියත් ඔවුන්ට මල පිටවන්නේ ඉතා වියළිවයි. එයත් මලබද්ධය ලෙස හඳුන්වනවා.
එමෙන්ම ඇතැමුන් දිනපතාම වැසිකිළි යනවා; ඔවුන්ට මල පිටවන්නේත් වියළිව නොවේ; එහෙත් ඔවුන් වැසිකිළි යාමට අධික ආයාසයක් ගත යුතුයි. එම තත්ත්වයත් මලබද්ධය ලෙස හඳුන්වනවා. තවත් පිරිසක් සිටිනවා, ඔවුන් දිනපතාම වැසිකිළි යනවා.
එහෙත් ඔවුන්ට දැනෙනවා තමන්ට මලබද්ධය ඇතැයි කියා. ප‍්‍රායෝගික වශයෙන් මෙය විස්තර කිරීම අපහසු වූවාට මෙම තත්ත්වය හඳුන්වන්නේත් මලබද්ධය ලෙසයි. තවත් පිරිසක් සිටිනවා, ඔවුන් වැසිකිළියට යනවා; මලපහකර පැමිණෙනවා; නමුත් ඔවුන්ට දැනෙනවා තවමත් තමන් මලපහකර අවසන් නැති බව. මෙම තත්ත්වය සලකන්නේත් මලබද්ධය ලෙසයි. අවසන් වශයෙන් දැක්වූ කරුණ ඉතා වැදගත් රෝග ලක්ෂණයක් ලෙස සැලකෙනවා.
මලබද්ධයත් සමඟ තවත් රෝග ලක්ෂණ කීපයක්ම තිබෙනවා. විශේෂයෙන්ම වැසිකිළි යාමේදී එන වේදනාව, මලපහකිරීම ආරම්භ කරනවිටත් මලපහ කරනවිටත්, මලපහකර අවසන් වූ විටත්, අධික වේදනාවක් දැනෙන පිරිසක් සිටිනවා. ඇතැමුන්ට එම වේදනාව සමඟම රුධිරය පිටවීමක් ද සිදුවෙනවා. මෙහිදී ඇතැමුන්ට මලපහකිරීම ආරම්භයේදීම රුධිරය පිටවෙනවා.
මෙහිදී පිරිසකට මලපහකළ පසුව රුධිරය බිංදු ගුද මාර්ගයෙන් වෑහෙනවා. මෙසේ ගුද මාර්ගයෙන් රුධිරය වෑහීම මලබද්ධය හා බැඳුණු රෝග ලක්ෂණයක්. මෙහිදී දැනෙන අධික වේදනාව නිසා ඔවුන් වැසිකිළි යාමට මැලිකමක් දැක්වීමට පෙළඹෙනවා. එහි ප‍්‍රතිඵලය වන්නේ වැසිකිළි යන වාර ගණන අඩුවීමයි.
එහි අවසන් ඵලය වන්නේ නැවත මලබද්ධය ඇතිවීමයි; මලබද්ධය වර්ධනය වීමයි. මලබද්ධය ඇතිවූ විට පහවන මල ඉතා ඝන වෙනවා. අපගේ මහා අන්ත‍්‍රය දිගේ මල එක්තරා වේගයකින් ගමන් කළ යුතුයි. එසේ ගමන් කරන විට මලවල තිබෙන ජල කොටස් නැවත මහා අන්ත‍්‍රයට උරාගන්නවා.
මහා අන්ත‍්‍රයේ වැඩිවේලාවක් මල රඳුණොත් එම මලවල තිබෙන ජලය මහා අන්ත‍්‍රය මගින් වැඩියෙන් උරාගන්නවා. එසේ ජලය උරාගත්විට එම මල ඝන වෙනවා. ඒ නිසා මහා අන්ත‍්‍රය තුළ මල එයට නියමිත වේගයකින් ගමන් කළ යුතුයි. මේවා මලබද්ධය හා බැඳුණු ගැටලු.
මලබද්ධය ඇතිවන්නේ ඇයි?
මලබද්ධය ඇතිවීමට මූලික වන හේතුව අහිංසක කරුණක් විය හැකියි. එසේ නැතිනම් කිසියම් සරල රෝග ලක්ෂණයක් විය හැකියි. එසේත් නැතිනම් භයානක රෝග ලක්ෂණයක් විය හැකියි.
මලබද්ධයට හේතු වූ කරුණු අහිංසක හේතුවක් නම්, චර්යාවන් වෙනස් කිරීමෙන් එම මලබද්ධ තත්ත්වය සුවපත් කළ හැකියි. ඉතා සුළු පිරිසකට පමණක් මලබද්ධය ඇතිවීම භයානක රෝගයක රෝග ලක්ෂණයක් විය හැකියි. මලපහ කිරීම ඉතා සරල කි‍්‍රයාවක් ලෙස පෙනුණ ද එය සංකීර්ණ කි‍්‍රයාවලියක අවසන් ඵලයයි.
අප වැසිකිළියට ගියවිට ඉතා ඉක්මනින් මලපහ කිරීමට අපට බෝහෝවිට හැකිවෙනවා. එහෙත් ඉතා සුළු ගැටලුවකින් එම කි‍්‍රයාවලියේ සමතුලිතතාවය නැතිවිය හැකියි. එවිට ඉතා පහසු කටයුත්තක් වූ වැසිකිළි යාම ඉතා අපහසු කටයුත්තක් බවට පත්වෙනවා. මලපහ කිරීමට බොහෝ තත්ත්වයන් නිවැරැදි විය යුතුයි. ඒ සඳහා මානසික සූදානමක් තිබිය යුතුයි.
යමෙකුට මානසික ගැටලු තිබේනම් එය මලපහ කිරීමට තදින්ම බලපානවා. බොහෝ දෙනෙකුට වැසිකිළි යාමට අවශ්‍යතාවක් ඇතිවන්නේ, කිසියම් ආහාරයක් හෝ පානයක් ගත් පසුවයි. එයට හේතුවන්නේ කිසියම් ආහාරයක් ආහාර මාර්ගයට ඇතුළු වූ විට ක‍්‍රමාකුංචන කි‍්‍රයාවලිය මඟින් මහාන්ත‍්‍රය යම්කිසි චලනයකට ලක්වීමයි.
ඒ නිසයි බොහෝ දෙනෙක් උදෑසන අවදි වී වැසිකිළි යාමට ප‍්‍රථම තේ කෝප්පයක් පානය කිරීමට පෙළඹී සිටින්නේ. යමෙකු නිවෙසින් පිටවී ඇති අවස්ථාවක වැඩිපුර මලපහ කිරීමේ අවශ්‍යතාවක් දැනෙන්නේ නෑ. ඒ; වැසිකිළි යාමට සිටින පරිසරය තදින්ම බලපාන නිසයි. නියමිත වේලාවකට නියමිත ආකාරයකට වැසිකිළි යාමේ පුරුද්දක් පුංචි දරුවන් තුළ ඇතිකළ යුතුයි. (Toilet training).
කිසියම් අයකු මලපහ කිරීම නිතිපතා කල් දැමුව හොත් එය පුරුද්දක් බවට පත්වෙනවා. ඒ නිසා මලපහ කිරීමට උත්තේජනයක් ඇතිවූ විට එය කල් නොදැමිය යුතුයි. ඇතැම් විටෙක කල්දැමිය යුතු අවස්ථාද එළඹෙනවා. එසේ නොමැතිව මලපහකිරීම නිතර නිතර කල්දැමීම මඟින් මලබද්ධය නම් කරදරකාරී රෝගය ඇතිවිය හැකියි.
වර්තමානයේදී ඇතැම් දෙනා වැසිකිළියට ගොස් පොත් කියවීමට පත්තර බැලීමට පවා පෙළඹී සිටිනවා. මෙය ඉතා නරක පුරුද්දක්. යමෙකු වැසිකිළියට යා යුත්තේ මලපහ කිරීමට අවශ්‍යතාවක් ඇතිවුවොත් පමණයි.
වැසිකිළියට ගියවිට මලපහ කිරීමට අවශ්‍යතාවක් නැති බව හැඟේ නම් එයින් පිටවිය යුතුයි. නැවත ඒ සඳහා උත්තේජනයක් ඇතිවූ විට නැවත වැසිකිළියට යා හැකියි. වැසිකිළියේ අනවශ්‍ය ලෙස කාලය ගතකිරීම ගුද මාර්ගය ආශ‍්‍රිත රෝග රැසකටම ආරම්භය බව නවතම පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙන කරුණක්.
වැසිකිළියට ගොස් මලපහ කිරීමට උත්සාහ කරමින් වැඩි කාලයක් ගතකිරීමෙන් ගුද මාර්ගය හා සම්බන්ධ අනෙකුත් කොටස්වලට විශාල බලපෑමක් ඇති කරනවා. අර්ශස් රෝගය ඇතිවීමට මූලික වන්නේ මෙයයි. වර්තමානයේදී ගැස්ට‍්‍රයිටිස් රෝගයට, හෘද රෝගවලට, මානසික රෝග, ස්නායු රෝගවලට නියම කරන ඖෂධ විවිධ විටමින වර්ග ගැනීම මඟින් මලබද්ධය ඇතිවීමේ හැකියාවක් තිබෙනවා.
ගුද මාර්ගය ආශ‍්‍රිත රෝගාබාධ නිසාම මලබද්ධය ඇතිවන අවස්ථා තිබෙනවා. විශේෂයෙන්ම Fisher නම් රෝගය නිසා මලබද්ධය ඇතිවෙනවා. ගුද මාර්ගයේ ඇතිවන පැලීම Fisher රෝගය ලෙස හඳුන්වනවා. මෙම රෝග තත්ත්වය බොහෝ දෙනෙක් අර්ශස් රෝගය ලෙස වරදවා වටහා ගන්නවා. මෙය ඉතාම වේදනාකාරී රෝග තත්ත්වයක්.

කොළඹ ජාතික රෝහලේ
විශේෂඥ ශල්‍ය වෛද්‍ය
සී.කේ.පතිරණ
‘තරහ යන රෝගය’ ලෙස බොහෝ දෙනෙක් අර්ශස් රෝගය හැඳින්වුවත් ඇත්තවශයෙන්ම වැඩි වේදනාවක් දැනෙන්නේ වැඩියෙන් කෝප එන්නේ Fisher නම් රෝගය නිසයි.
වැසිකිළියෙන් පිටතට පැමිණි පසුවත් ඔවුන් පසුවන්නේ ඉතා වේදනාකාරීවයි. වැසිකිළි යාමෙන් පසුව ඔවුන්ට වාඩිවී සිටීමට පවා අපහසුයි. ඒ වේදනාව නිසාම ඔවුන් වැසිකිළි යාමට කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ නිසාම ඔවුන්ගේ මලබද්ධය එන්න එන්නම වැඩිවෙනවා.
එහි ප‍්‍රතිඵලය වන්නේ නැවත මල ඝන වී ගුද මාර්ගය නැවත නැවතත් තුවාලවීමයි; පැලීමයි. ගුද මාර්ගය පැලීමේ මෙම රෝගයට වහාම ප‍්‍රතිකාර ගත යුතුයි. මීට අමතරව අර්ශස් රෝගය නිසාද මලබද්ධය ඇතිවිය හැකියි. ගුද මාර්ගය ආශ‍්‍රිතව ඇතිවන ගෙඩි නිසාද මලබද්ධය ඇතිවීමේ හැකියාවක් තිබෙනවා.
එම ගෙඩි ඇතැම්විට අහිංසක ගෙඩි විය හැකියි. ඇතැම්විට ඒවා පිළිකා වැනි දරුණු ගෙඩි විය හැකියි. ගුද මාර්ගයේ ගෙඩි ඇතිවූ අයකු වැසිකිළියට ගොස් අවසන් වූ විට රුධිරය ද සමඟ සෙම වැනි සීදම් (ශ්ලේශ්මල) යා හැකියි. මෙම රෝග ලක්ෂණත්, වැසිකිළියට ගොස් පැමිණි විට නැවත වැසිකිළියට යාමේ අවශ්‍යතාව දැනීමත් තිබේනම්, එය විශේෂ රෝග තත්ත්වයක් ලෙස සලකා වහා පරීක්ෂාවට ලක්විය යුතුයි. එමෙන්ම මහා අන්ත‍්‍රයේ ඇතිවන ඇතැම් ආසාදන තත්ත්වයන් නිසා ද යමෙකුට මලබද්ධය ඇතිවිය හැකියි.
මලබද්ධයෙන් මිදෙන්නේ කෙසේද?
මූලික වශයෙන්ම මලබද්ධයට හේතුවන කරුණ සොයා එයට ප‍්‍රතිකාර කළ යුතුයි. මලබද්ධය නම් රෝග ලක්ෂණය පෙන්නුම් කරන්නේ 90%ක්ම කිසිදු රෝගයක් නොමැතිව මලබද්ධය ඇතිවූ උදවියයි.
දිනක් දෙකක් වැසිකිළි යාම ප‍්‍රමාද වූවාට වහාම වෛද්‍යවරයකු හමුවිය යුතු වන්නේ නෑ. එසේ වුවත් මලබද්ධය හා බැඳුණු රෝග ලක්ෂණ සමඟ මලබද්ධය පවතීනම්, වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. බොහෝ දෙනෙකුගේ මලබද්ධයට හේතුවී තිබෙන්නේ චර්යාවන්ගේ ඇතිවූ අඩුපාඩුකම්. එම චර්යාවන් වෙනස් කරගත්විට එම මලබද්ධ තත්ත්වය පහවී යනවා.
අප ගන්නා ආහාරත් පානය කරන ජලය ප‍්‍රමාණයත් මලබද්ධයට බෙහෙවින්ම බලපානවා. මලබද්ධය ඇතිවන්නේ මලවල තිබෙන ජලය මහාඅන්ත‍්‍රයේදී ශරීරයට උරා ගැනීම නිසා බව දැන් ඔබ දන්නවා. ඒ නිසා වැඩියෙන් ජලය පානය කළ යුතුයි.
එසේම අපගන්නා ආහාරයට අලුත් එළවළු සහ පලතුරු වැඩිපුර එකතු කර ගැනීමෙන් ද මලබද්ධයෙන් මිදිය හැකියි. පිෂ්ටය, මේදය අඩංගු ආහාර අපගේ ශරීරයට උරාගන්නවා. එළවළු, පලතුරු පළාවර්ග වැනි කෙඳි සහිත ආහාර එලෙස ශරීරයට උරාගන්නේ නෑ. ඒ නිසා මහා අන්ත‍්‍රයේ ක‍්‍රමාකුංචන කි‍්‍රයාවලිය හොඳින් සිදුවීමට එළවළු පලතුරු කෙඳි සහිත ආහාර වැඩිපුර ගැනීම ඉතා වැදගත්.
මලබද්ධයෙන් මිදීමට ව්‍යායාම කිරීමත් ඉතා වැදගත්. හොඳින් ඇවිදීම මඟින් මහා අන්ත‍්‍රයට ඉතා හොඳට ව්‍යායාම ලැබෙනවා. නිවෙසට වී ආහාර ගනිමින් විවේකීව කලක් සිටින විටත් මලබද්ධය ඇතිවෙනවා. මෙය විශ‍්‍රාමික වැඩිහිටියන් මුහුණ දෙන ප‍්‍රධාන ගැටලුවක්.
කෝපි, කෝලා බීම වැනි පානයන් මලබද්ධය ඇතිකිරීමට හේතුවෙනවා. එමනිසා එළවළු පලතුරු වැඩිපුර ආහාරයට එක්කර ගැනීම, වැඩිපුර ජලය පානය, දිනපතා ව්‍යායාම කිරීම මඟින් මලබද්ධයෙන් වැළැකී සිටිය හැකියි.

සාකච්ඡාවකින් සකස් කළේ ගාමිණී සුසන්ත

නිරෝගීව ජීවත්වන්නට කැමැතිද?


ඔබ දන්නවාද? ඔබේ ශරීරයට ව්‍යායාම අඩු වීමෙන් ඔබට මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට නොහැකි වන බව. ඒ වගේම රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව ආදී විවිධ රෝගයන්ටත් ඔබට ගොදුරු වීමට තිබෙන ඉඩ කඩත් වැඩිය. මේ නිසා නිරෝගිව දිවි ගෙවන්නට නම් ඔබ අනිවාර්යයෙන් ම ව්‍යායාම කළ යුතුයි.
අපි ඒ පිළිබඳ දැනුමක් ලබාදී, ඔබට නිරෝගිව, සතුටින් දිවි ගෙවන්න උපකාර කරන්නම්.
වයස අවුරුදු 10 න් ඉහළ ළමා වියේ සිට අවුරුදු 80 දක්වා නැතිනම් ජීවිතාන්තය දක්වාම කළ හැකි ව්‍යායාම ඕන තරම්. එමෙන්ම විවිධ රෝගාබාධ තිබෙන අයටත් ගැලපෙන සරල ව්‍යායාම තිබෙනවා. ඒවා කොතරම් සරල වුවත් එයින් ලැබෙන ප්‍රතිලාභ නම් ඒ තරම් සරල වෙන්නේ නෑ. ඔබ රූපවානිය නරඹන විට, පුටුවකට වී හාන්සි වී සිටින විට, විවේකයෙන් සිටින විට, මේ ආදී ඕනෑම අවස්ථාවක ව්‍යායාම කරමින් සිටිය හැකියි.
ඒ ඒ අවස්ථාවලට ගැලපෙන ව්‍යායාම අප ඉදිරි සතිවලදී ඔබට ගෙන එනවා. ඒ නිසා ඔබ ව්‍යායාම කිරීමට සුදුසු වේලාවක් වෙන් කර ගැනීමට ඒ තරම් ආයාසයක් දැරිය යුතු නෑ. එහෙත් ඔබට හැකි නම් උදෑසන හෝ සවස ඒ සඳහා සුදුසු කාලයක් වෙන් කර ගැනීම ඔබේ දිගු කාලීන නිරෝගීභාවයට ඒ සුළු කාලය වුවත් විශාල ප්‍රයෝජනයක් වේවි.
ව්‍යායාමයකට පෙර කිරි වීදුරුවක් වැනි සුළු ආහාරයක් පමණක් ගන්න ඔබ මතක තබාගත යුතුයි. ඔබේ ආහාර වේල ගෙන පැය තුනක් පමණ ගත වූ පසු ව්‍යායාම කිරීමත් සුදුසුයි. ව්‍යායාමයෙන් පසු සමබල ආහාර වේලක් ලබාගැනීමට පැය ගණන් ගත කර සිටීම අවශ්‍ය නෑ. ඒ වගේම තමයි ජලය පානය නොකර ව්‍යායාම කරන්න යන්න එපා. ඒ වගේම වැඩිපුර ජලය පානය කිරීමෙන් ද ඔබට ව්‍යායාම කිරීමට අපහසුවක් දැනෙනවා. ඒ නිසා ඔබ පිපාසයේ තරමට පමණක් ජලය පානය කළ යුතුයි. ව්‍යායාම අතරතුරදී ඇතිවන පිපාසයේදී ජලය ස්වල්පයකින් තොල් හා දිව තෙමා ගන්න. ව්‍යායාම කරන අතරතුර වැඩිපුර ජලය පානය කිරීමෙන් මාංශපේශි පෙරලීමකට ලක් විය හැකියි.
ඔබේ ශරීරයට ව්‍යායාම අවශ්‍ය ප්‍රමාණය දැන ගන්නේ කෙසේද යන්න පිළිබඳ ඉදිරි සතියකදී පූර්ණ විස්තරයක් ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබ දැන සිටිය යුතුයි හෘදය ස්ඵන්දනය එකවර වැඩිවන ආකාරයට ව්‍යායාම නොකළ යුතු බව. එය ක්‍රමයෙන් වැඩි කරගෙන, ක්‍රමයෙන් ම අඩු කර ගත යුතුයි. එමෙන්ම ඔබ ගන්නා හුස්ම ප්‍රමාණයම පිට කළ හැකි තරමට වෙහෙස විය යුතුයි. ඒ වෙහෙස ඔබට වචන කීපයක් කතා කර ගැනීමට බාධාවක් නොවන තරමේ වෙහෙසක් විය යුතුයි. ඔබට අපහසුවක් දැනේ නම් ඔබ ව්‍යායාමය නතර කරන්න.
ක්‍රීඩා නිලධාරී
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව
සංජුලා දමයන්ති
ඔබ ව්‍යායාම කළා කියා ආහාර පාලනය නොකළහොත්, ඔබට සාර්ථක ප්‍රතිඵල අත්කර ගත නොහැකියි. තෙල් කෑම, බිස්කට්, අයිස්ක්‍රීම්, කේක්, (ෂෝට්ඊට්ස්) වැනි ක්ෂණික කෑම ඔබේ සෞඛ්‍ය පිරිහීමට හේතු වෙනවා. ඒ වගේම මත්පැන්, දුම්වැටි ආදිය භාවිතයෙන් ව්‍යායාම කළත් නොකර සිටිනවා වැනි තත්ත්වයක් ඔබට උදා කරවන්න පුළුවන්. කායික හා මානසික ආබාධ, ස්නායු ආබාධ මානසික ආතතිය ආදි බොහෝ රෝග ඇති නොවීමටත් ජානවලින් බලපාන රෝගවල වුවත් පාලනයක් ඇති කර ගැනීමට ව්‍යායාම ඉතා ප්‍රයෝජනවත්.
විනාඩි 20 කට වඩා කාලයක් නොකඩවා හෘදය ක්‍රියාත්මක වන විට ඔබේ ශරීරයේ වැඩිපුර තැන්පත් වී ඇති මේදය දහනය වෙන්න පටන් ගන්නවා. දිවීම, පිහිනීම, නර්තනය වැනි ක්‍රියාකාරකම්වලින් ඔබේ අනවශ්‍ය මේද දහනයක් සිදු කර ගත හැකියි. එපමණක්ද නොවේ මන්ද බුද්ධික දරු උපත්, මළ දරු උපත් මෙන්ම වඳ භාවය පවා ඇති කිරීමට ව්‍යායාම නොකර සිටීම හේතු විය හැකි බව තරුණ කාන්තාවන් මතක තබා ගත යුතුයි.
ලබන සතියේ සිට ව්‍යායාම නිසි අයුරින් කරමු.

නම්‍යශීලිත්වය ඇති කරන දිගැදුම් ව්‍යායාම

මේ වනවිට ඔබ ව්‍යායාම් පිළිබඳ හොඳින් දැනුවත්ව ඇත. මෙවර අපි සාකච්ඡා කරන්නේ දිගැදුම් ව්‍යායාම පිළිබඳ යි. ඔබ දැක ඇති ඔබේ නිවසේ සුරතල් සතුන් පවා උදෑසන අවදිවී දිග ඇදීමක් කරනවා. මේ දිගෑදීම සියලු සත්ත්ව සංහතියට ම අත්‍යවශ්‍ය ව්‍යායාමයක්. ඔබේ ශීරරයේ විවිධ මස් පිඬුවලට අදාළ දිගැදුම් ව්‍යායාම පිළිවෙළින් කරන ආකාරය, අද සිට ඉදිරි සතිවල දී කියා දෙනවා.
අපි ප්‍රථමයෙන් ම මේ දිගැදුම් ව්‍යායාම කළ යුත්තේ ඇයි කියා විමසමු. මේ ව්‍යායාම කිරීම මගින් ඔබේ නමනීයත්වය (නම්‍යශීලී බව) වර්ධනය වෙනවා. එමෙන් ම ඔබේ කය මෙන් ම මනස ද සැහැල්ලු වෙනවා. සිරුර උත්තේජනය වී, ඔබේ දක්ෂතා ඉතා කෙටි කාලයකින් ඉස්මතු කැර ගැනීමට හැකි වෙනවා.
එහිදී සිදුවන්නේ ඔබේ ශරීර උෂ්ණත්වය වැඩිවෙනවා මෙන් ම, රුධිර සංසරණය හොඳින් සිදුවී, ශරීර මාංශපේෂිවලට හොඳින් ඔක්සිජන් ලැබී, සිරුර උත්තේජනය වීම යි. ඔබ මේ ව්‍යායාමයේ යෙදීමෙන් මාංශපේෂිවල තද බව අඩුවී, ශරීරය සැහැල්ලු වෙනවා. එමෙන් ම, එයින් සිදුවන ඉතා වැදගත්ම කාර්යයක් වන්නේ, ඔබේ ශරීරයේ සන්ධිවල චලන පරාසය වැඩිවීම යි.
ඔබේ සන්ධිවල චලනය පාලනය කරන්නේ සන්ධි වටා තිබෙන මෘදු පටක, ටෙන්ඩන්ස්, ලිගමන්ස්වලිනි. එමෙන් ම මේ සන්ධි වටා තිබෙන තරලයේ ඝනත්වය අඩුවීමක් ද මේ ව්‍යායාමයෙන් සිදුවනවා. එයින් ද සන්ධි චලන පරාසය වැඩි වෙනවා. කෙසේ වෙතත් ඔබ මේ දිගැදුම් ව්‍යායාම ඉතා පරෙස්සමින් සිදු කළ යුතු යි. එනම් අපි සඳහන් කළ සන්ධි වටා ඇති මෘදු පටක ආදියට හානි සිදු නොවන ආකාරයෙන් ව්‍යායාමය කළ යුතුයි.
අප ඔබට කලින් සතියක දී කියා දුන් ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම නොකර, දිගැදුම් ව්‍යායාම සිදු කළ හොත්, ඒ මෘදු පටකවලට හානි සිදුවිය හැකි යි. ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම්වලින් ඔබේ ශරීරයේ මාංශපේෂි උණුසුම් වෙනවා. ඒ උණුසුම් වීම නිසා මාංශපේෂි ඉලාස්ටික් එකක් මෙන් ඇදෙන්න ගන්නවා. එවිටයි දිගැදුම් ව්‍යායාම කළ යුතු වන්නේ.
එසේ නොවී, දිගැදුම් ව්‍යායාම කළ හොත් සියුම් මාංශපේෂි ඉරීමකට ලක්වෙන්න පුළුවන්. එමෙන්ම මතක තබාගන්න, මේ ව්‍යායාම ඔබ කළ යුත්තේ පියවරින් පියවරට යි. එමෙන් ම ශරීරයේ සෑම මාංශපේෂියක් ම ඇදීමට ලක් කළ යුතු යි. එය ද ක්‍රමානුකූලව කළ යුතු වෙනවා.
ඔබේ ශරීර මාංශපේෂියක් ඇදීම තත්පර 10 සිට 30 දක්වා කාලයක් සිදු කළ යුතුයි. ආධුනිකයකුට තත්පර 10 සිට 20 දක්වා කාලයක් එය කිරීමට හැකි ය. පුහුණු අයෙක් නම් තත්පර 30 ක් පමණ කිරීම සෑහේ. එනම්, ඔබ එක් ඉරියව්වක සිට, එබඳුම කාලයක් මාංශපේෂි ඇදීමක් කළ යුතු යි.
ඒ අතර ඔබ හොඳින් ආශ්වාස ප්‍රශ්වාස කළ යුතු යි. වඩා වැදගත් වන්නේ අදාළ කාලය එම ඉරියව්වේ සිටීම යි. මේ දිගැදුම් ව්‍යායාම මගින්, ක්‍රීඩාවේ උපරිමයට ම ඔබ ගෙන යාමට ත්, වෙහෙස පමා කිරීමටත්, ව්‍යායාම අතර සම්බන්ධය වැඩි දියුණු කිරීමටත් හේතු වෙනවා. එමෙන් ම කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ වේදනාකාරී බව අඩු කිරීමටත් මේ ව්‍යායාමය පිටිවහලක් වෙනවා.
දිගැදුම් ව්‍යායාම්වලින් අප අද සාකච්ඡා කරන්නේ බෙල්ලේ මාංශපේෂි ඇදීමේ ක්‍රියාවලිය පිළිබඳ යි. ඔබ බෙල්ල ඉදිරිපස ඇති මාංශපේෂි සහ පිටුපස ඇති මාංශපේෂි දෙකම ඇදීම සඳහා දිගැදුම් ව්‍යායාම කළ යුතු යි. බෙල්ලේ ඉදිරිපස මාංශපේෂි ඇදීමේ ක්‍රියාවලිය පිළිබඳ අප දැන්ම විමසා බලමු. ප්‍රථමයෙන් ඔබ නිකට යටින් බෙල්ලෙන් දෑත තබාගෙන උඩට තෙරපීමක් කළ යුතුයි. එය කලබලයෙන් හෝ තදින් කිරීමෙන් වළකින්න.
බෙල්ල වටා ඇත්තේ සියුම් ස්නායු වීම එයට ප්‍රධානත ම හේතුවයි. බෙල්ල අනවශ්‍ය ලෙස ඇදීමක් කළහොත්, එම ස්නායුවලට හානියක් සිදුවිය හැකියි. ඔබ ඇඟිලිවලින් උඩට තෙරපුමක් යොදන ගමන්, හිසෙන් පහළට තෙරපුමක් ඇතිකළ යුතු යි.
බෙල්ල පිටුපස ඇති මාංශපේෂි ඇදීම සඳහා අත්දෙක වැලමිටෙන් නවා, හිස පිටුපසින් තබාගෙන, කකුල්වල ඇඟිලි පෙනෙන තරම් හිස නැවිය යුතුයි. එසේ අතින් හිස පහළට යොමු කරවන ලෙස තෙරපීමක් කරන ගමන්, ඊට ප්‍රතිවිරුද්ධ තෙරපුමක් හිස මගින් ඇති කළ යුතු යි.
ඔබේ ප්‍රධාන ව්‍යායාමයෙන් පසු වෝට් ඩවුන් (ඇග උණුසුම අඩු කිරීම) කිරීම සඳහාත් දිගැදුම් ව්‍යායාම කළ යුතුයි.
පුහුණු සැසිය එවිට පරිපූර්ණ වනවා ඇත. අප ඉහත සඳහන් කළ ව්‍යායාමය තත්ත්පර 10 ක් පමණ කිරීම වෝට් ඩවුන් සඳහා සුදුසු යි. ශරීරය පමණක් නොව, මනස සැහැල්ලු වන ව්‍යායාමයක් ද, ක්‍රීඩාවෙන් පසු අනුගමනය කිරීමට අමතක කරන්න එපා.